Saturday, September 2, 2017

කියූවත් වැඩක් නැති කතාවකි




මෙය ඔබට කිසිදිනක කියන්නට 
නොහැකිවන කතාවකි
සත්‍යයක් ඇත එහි තැනක දැවටී
එදා මා දැන නොසිටි
නිති පතා අද මා දකින

මගේ කුටියේ කවුලුවට නුදුරින්
ගරාවැටුනු නවහනක නටබුන්ය

එදා සෙනේ දිය පිරී වැගිරුනු
පවුලක හද දහම් රැහැනක
තිබිරිගෙය බදු වූ
කාමර කුස්සි දොර ජනෙල්
දිරයි මලකයි ‬පුපුරයි
මියෑදෙයි පොලොවටම පස්වෙයි

නව දලු ලමින් වෙලෙමින්
මුල් ද පසුරුද වෙලා බැදෙමින්
දිනෙන් දින ලියවැලක් එතෙයි ඒ වට
ලෝකපාලු ය නමින් ම මූසල

කොහෙන් පැමිනියෙද ඒ ලතා කලලය
කෙසේ හැදී වැඩෙනුයෙද තට්ට තනිවම

මියයන මේ කුඩා ලෝකය මත 
නොමරුනු එකම දේ එය වෙයි
ඒ නිහඩ හංස ගී වලප
තිරයකින් මුවා කොට සගවන

මෙය ඔබට කිසිදිනක 
කියූවත් වැඩක් නැති කතාවකි
මේ කතාවේ අරුත පසිදා
ලදුන් හා ගති සොබා රූ ඇති
ලතාවක් හා බැදී වෙස් ගත්
ඔබ නොහදුනනු ඇති ඔබවම

1 comment: