Sunday, December 26, 2010

මගේ අහස

















අහස ලොකු විය - මම කුඩා විය

විසල් අහසට පෙම් බදින්නට පෙර
මා නොදත්තෙමි මෙහෙව් වගතුග

එක් කොනක් සරසන විට මහත් ලෙස
අනෙක් කොන - ජරපත්ව වියැකෙයි
සියල් සපිරිනු - පිරුනු දසුනක්
කිසිදිනක නොදිටිමි නිරන්තර

දෙකොන පෑගෙන පොල්පිත්ත ලෙස
පදුරුල
, මහා මල සමයමක් ඉහ මත

මුහුද ගොඩබිම ආනුපානෙට
දියත සුවිසල් බවට පෑහෙන
උඩින් පොරව
යි විසල් නුබ කුස

එවන් අහසක් මොටද
කුඩා මා හට පැලදුමට

මගේ උස් මිටි කමට සැසදෙන
එයින් කොටහක් කඩා ඉහලමි

Wednesday, December 22, 2010

දිවි මාලිමාවෙහි වත


මගේ වමතට ඉදිරියෙන්
තල් අරඹෙහි රුවා ඇත - උතුරු කොන
මගේ සුරතට ඉදිරියෙන්
සිඳු වාටියෙන් මායිම්ව ඇත - දකුනු දිග
කොහේ කොතැනක කොහෙට හැරුනත්
හැමවිටම පෙරඹරට මුහුන දී උදාරම් ලෙස - මම
ලපටි කල මා විසූ කුඩා ලොව
මාලිමාවක් විය මටම අවනත

පැටි විය ගෙවී - දැලි රැවුල පැලවෙන කල
උගත්තෙමි මම බොහෝ විද්‍යා කලා ශිල්ප හා භූගෝලය
උගතෙකුට රිසි වන දැනුම රිසි ලෙස උරා ගත්තා මම

බාල කල මා වැඩූ ලදරු මාලිමාව සොපහසින් වීසි කර
පැලද ගත්තා මහිස විදත් මාලිමාවක් පොතේ හැටියට

දනිමි මම දැන්
උතුරු කොන දන්නා දුරක බොහෝ ඈතක බව
දකුනු කොන හිතූ තරමටම අතේ දුර නොවනබව
අපි හැරෙන පැත්තට අපිත් සමගම කරකැවෙන
අපිට අවසග මානයක් නොවේ මේ දිශාවන් සැම

පැහැදිලිය නිවැරදිය දැන් මගේ මාලිමාවෙහි මානයන් සැම
බාල වියටත් වඩා කුඩා වී නොවෙද? එහෙත් දැන් - මම

චායාරූපය-http://www.richardlyle.org/wp-content/uploads/2010/11/vitruvian-man.jpg

Sunday, November 28, 2010

රූල් නැති පොත්




මුතු දිමුතු අකුරෙන්
සදොස් වැකියෙන්
වියත් බසකින්
මුල -මැද- අග
සිදුවීම් සීරුවට අමුනා
පබැදුවෙමු අපි එදවස
ජීවිතේ වියමන

ඒ වියූ වියමන අත්හැර
ඔබ අන් වියමනක අද

මුතු අකුරු බොද වී
දිවි රටා දිය වී දැන්
ජීවිතය
හිස්ම හිස් පිටුවකි

පැතුම් සෙදී උරා ගත්
හැගුම් වියලී නිදාගත්
මේ හිස්ම හිස් පිටු
කිලිටි කඩදහි සේ
කසල බදුනට
වීසි නොකරමි

රූල් රටා හැම සිදී බිදී වියැකුන
සියල් රීති හැම ගොලුවී මැලවුන
මේ නොහිස් හිස් පිටු
නොපීදුනු සියපත් රටා පූදින
ජීවිතේ සැබෑ වියමන ලියලන
සුනිල නිල් දිය උනන උල්පතයි

ඉතින්, මුදල් දීවත් ගතහැකිද කොහෙන්වත්
දිවි දිගහැරුමට මෙවන් - රූල් නැති පොත්

චායාරූපය -www.jupiterimages.com/
ImageroyaltyFree/
77999499

Tuesday, November 16, 2010

ලෙච්චමී තේ ගහකටවත් නොකී කව


කොලයෙන් දළුවෙන් ගොතලා
අරිම්බුවෙන් රටා දැමූ
තද නීල කොල සාරියකි ලොකු
මුලුවසන් තේ යාය පිටපොත්ත

පන්දලම් තිඹිරිගේ ඇතැරවිත්
කප්පාදු වී දහ දොලොස්වර
අගුටු වී වාමනව
දළු නිල්ල යට සැගව
සදා දුක් වීදී අතු කය


නෙත්තියේ පදුරකින් පදුරකට
දළු නෙලමින් යනෙනා අතර
විදා අතු කෝටු යන මග හරස් කර
මොට්ට අතු තුඩින් දෙකකුලට ඇන
නේක හිරිහැර කරයි අතු කඳ

අනේ ආඩවනේ....!
ඇයි අරියාදු අපිටම

කනේ කඩුක්කන් බන්ගලි වලලු දැම්මට
පච්චවඩම් මල් සාරි ඇන්දාට පැලැන්දට

ඔහේ නිදහසේ අතු බෙදී උස යනු නොහැකි
හිතේ හැටියටම මල් මවා ඵල ලනු නොහැකි
කදු පාවුලක ලැයින් ගෙදරක වකුටු වී බුදියන
අපිත් නුඹලත්
එකම රෝලක ඇඹරෙන දළු නොවෙද



චායාරූපය-http://www.superstock.com

Tuesday, November 2, 2010

වහා හකුලා ගනු


වහා හකුලා ගනු
වහා හකුලා ගනු
චන්ඩ හිරු රජුනි
මේ දැන්දැන්
රුදු සැඩ රළු කිරන
අප දවන -මලවන

අප ගත රුහිරු තෙත
තලා මිරිකා දාහය ලෙස
වස්සවා නාස්තිකර
පැනි බීම ඔඩම් තුල බහා
කොහෙවත් නැති සමාගම්
පෝසත් කරයි උඹ

නුඹගේ කිරන රැස් කදම්භ පහර වැද
දහ අතේ ණයවී තැනූ සුපසන් මාලිග
දුම් ගෙවල් මෙනි අනේ දැන්
පනපිටින් කරකුට්ටන් වෙන

තලන පාගන සුරාකන අපිට දත නියවන
රුපු සෙන් මාරසේනා අද බොහෝ වෙත
උනුන් එල ලු දැලක පැටලී එදිරි වී නුඹද
එකපෙලට හිටගෙන නොවෙද හරිහරියට

එහෙව් රූකඩ වේශ සුන්නත්දූලි කර
වහා හකුලා ගනු - වහා හකුලා ගනු
ඔය චන්ඩ කිරන රැස් දහර නැවත

Thursday, October 28, 2010

රුදුරු වැහිබිදු



















නා කපන වැස්සට
කිලි කුනු සෝදගෙන
දිදුලතත්
තුරුලිය පෙල
මුඩු කඨොර රලු ගති මගහැර
තෙත්බරිත වී පෙගී මුදු ලෙස
හිනැහුනත්
මහ පොලොව
ඒ වැහි බිදු
වැටුනේම නම්
මහද පතුලත
මතක මිහිදන් කල
සොහොන්බිම මතටමය

ඒ රුදුරු වැහිබිදු
ඝන පිටකබොල දියකර සොදාපාලු කර
හැකිතරම රුවැති වේශයෙන් මිහිදන් කල
ප්‍රාන සම සේ සුරැකි මතක පිලිරූ පෙල
සැකිලි කුනුමස් පිරි කුනපයන් සේ සොබර
මතුකර උල්ලුපා ඇත අද

Tuesday, October 12, 2010

යෞවන අහස


වැසි නම් නොවැස්සත් කලකින් සැරට
ව්ජ්ජුලතාවෝ නම් පිපෙනව හැඩරුවට

කුමට රවටනවද ! මේ විදුලි සර සැරට
වැසිම ඉල්ලන මහපොලොව මෙලෙස

මෙහෙව් අවලාද නොකරමි කිසිලෙසක
තාම පනපිටින් නොවෙද? මගේ රූබර
තුරුණු යෞවන අහස

Friday, October 8, 2010

විරසක මේඝයට .....


ඉරි තැලී ගිය මහ පොලව
හේඩෑරී වී ගිය ගහකොල
මේ රුදු නියං කාල සමයට
විරසක මේඝයකි අද නුඹ

අරෝවෙන් බොහෝ දුර ගිය නුඹ
යලි එතැයි නැතැයිදැයි නොසිතම
හද පත්ලතේ මහපොලොව කැන
ලෝදිය පතුල තෙක් සොයමි
පෙර ඔබ මට පිදුව වැහි බිදු

Saturday, October 2, 2010

සිහින කැබලිති


උදාහිරු කිරන කෙදි මත
මිහිරි කූජන තාල තවරා
හද සවන් දොර මත මුදා
උදෑසන මා අවදි කරවයි

දහවලේ රුදු නිහඩ කඩතොලු
රුසිරු හඩ නළු මලු වල බහා
කොහේ කොතැනක සිට වට පිට
රුවට පිරියම් කර මට නෙලා දෙයි


අහම්බෙන්වත් මා ලග නොරැද
අතේ දුර මේ අහලකම රැදෙන
ලය උනුසුමට සුදු මුදු පහස නොපුදන
දිනක හැර යාද නොයාදෝ නොදනින

වර්නවත් තටු පැලදි
සැරිසරන සියොතුන්ම
පමනක් නොවේ තෙපි

මෙතෙක් කල් හද පුරා මාදුටු

ලෝදහම් මහ ගිරග මත හැපි සුනුවිසුනු
සමනල සිහින කැබලිති නොවෙද තෙපි?

Monday, September 13, 2010

යලි නොකියවමි ඒ පොත


එක් කලෙක - එක හුස්මට
නිදි වරාගෙන - මුව අයාගෙන
අකුරක් නෑර කියවූ

පොතකි
දැන් නුඹ මට

දූවිලි කමින් දුර්වර්නව
පඩු පැහැ මැවුනු පිටුමත

පුස් ලප කැලැල් රොද බැද
දුක් විදී අද ඒ පොත
කොහේහෝ කොතැනක

ලෝකයේ අදුරට හසුව
නෙත් තියුනු වී ඇත අද
ජීවිතේ සන්ග්‍රාමයේ යුද වැද
මුවහත්ය දිවි කගපත්ද දැන්

කියෙව්වොත් යලිත් ඒ පොත
නවරස සුවද මෙන් කඩතොලු
මතු වෙතත්

යලි නොකියවමි ඒ පොත

වැකිදොස් වැරදි අක්ශර මගහැර
සියලු රසභාව පමනක්ම උරාගත්
පිටපතක් ඇත හද මතක තුල
තැන්පත්ව
දින දින පැහැදිලිව ඔප වෙන

රැකගෙන ඒ සොදුරු මහරු හද පිටපත
අන්සතු කරමි නොසොදුරු සැබෑ පිටපත


Thursday, August 5, 2010

උවනතක අඳුර.......


රිය දොරින් රිය දොරට හිස්වැසුම් විකුනමින් යනෙන
කාලවන් තොප තුනු වෙළද රුව අහම්බෙන් පාත් වී
ඇසිල්ලෙන් පැමින රි0ගා පැලපදියන් උනි
මගේ ඩිජිටල් තෙවෙනි ඇස මත ගොලුව

නැරඹුවෙම් විසල් කර
තොපේ උවනත හැඩය
පුලුල් ඩිජිටල් තිරපටට එල්ල කරගෙන සොදින
අහෝ....... අඳුරකිය
උවන හැඩ තල මකන

සෙවනැලිව පතිත වූ තුරුසිරස හැඩයක්ද?
සැඩ හිරුව මුවා කල මේ කුලක ලපයක්ද?
නැතොත් එය කාලවන් සිරුරතේ සැබෑ මාත්තුවමද?

නෙක මෘදුක කගපත් දරා වෙර දැරිමි වෙර දැරිමි
එලිය කැදවනු පිනිස යොවුන් උවන
මතට
නිශ්පලය ඒ පැතුම, කලු අඳුරකය තවම නුභ

හද කිරන දල්වා සැබෑවේ දෙනෙත් ඇර
විනිවිදිව් කල නුභ උවනත ඝන උකු අඳුර
දුටිමි මම එය
හුදු සායමක් නොවන බැව් -මතුපිටෙහි තැවරෙන

මායමක් නොවන බැව් - නයන දැල මත වෙලෙන


වේලකින් වේලකට - කුස රවට්ටමින්නේ
රිය දොරින් රිය දොරට පයින් ගාටන්නේ
හිස් වැසුම් වස්සමින්- හිත් වසා ගන්නේ
මහමගක අගුපිලක යව්වනය ගෙවන්නේ


මාවතේ
දියව යන දිවිපතලතේ උනන

ම් මස් ඇට නහර තුල උපදින
රුහිරු හද පතුලතින් මෙලවෙන
කටුක දිවි කහටක්ය මේ කාල ඝන අඳුර
සොයුර නුභ තුරුනු උවනත අඳුරු කල


වසා තදකොට පියන්පත් එලිය ලොකේට ඇරෙන
විවර කර උපරිමව මායා සයිබර් උම0 ම0 මාවත්
ලෝකය දකින නරඹන හදන්නට පෙලහර මවන
මගේ කලු බොල් ළදරු චායාව දුටිම් සුපැහදිලිව
සොයුර නුභ ගිලි මේ අඳුර තුල මුසුව දිය වී ඇලුනු


(චායාරෑපය- දකුනු අප්‍රිකාවේ බ්ලුෆොන්ටේන් නම් වැව අසල තොප්පි වෙළදාමේ යෙදෙන සිම්බාබ්වේ ජාතික තරුනයෙක්)

Saturday, July 17, 2010

Wednesday, June 30, 2010

විලාසනියන්ගේ ප්‍රේමය


ඔවුහු පැමිනියෝය
රැගෙන නොයෙකුත් දෑ
ප්‍රේමය නමින් නම් කල

රන්රුවන් අභරන සමග පාට මල් දම්ද
රීදී ගෙත්තම් සපිරි දුහුල් සුසිනිදු සලුද
වත්සුනුද විලවුන්ද සුවද කොකුමගරද
රන් මිරිවැටි සගල් පයට මිනි ගෙජ්ජිද

පැලද සැරසී හැඩට
රැගුවෙමිය, මන්මත්ව
ඔවුන් හා එකව සිරියහන් මත නැග
සැරිසැරිමි, වල්මත්ව
නොයෙක විගඩම් වීදි මාවත් මත

එහෙත් දිනක් පැමිනීය නොකියාම
වත්සුනුද දිය වෙවී පතුරු ගැලවී හැලෙන
ගත වතේ කළු මැවී හමද රැලි වී වැටෙන
පැදුරටත් නොකියාම
පෑල දොරගින් ප්‍රේමයද පලා යන

මෙයද විසිතුරු පෙමෙහි මියුරු ඵල... ?

කපා හාරා ඇද එලියට ගෙන
බලමි විමසමි
රුසිරු විසිතුරු පෙමට රැවටුන
රුදු සුමුදු මා හද හෘද මාන්ශය

අහෝ එයද කුනුපයකි.......

බොහෝ කලකට පෙර නොදැනීම
විසිතුරු පෙමෙහි කිරන රැස් වැද
පනපිටින් මිය ගිය

Sunday, June 20, 2010

Monday, June 14, 2010

ප්‍රේමය.....


බදවා තනා නිමකොට
පාට කොල අලවා හැඩකොට
අපි අපිම උඩ ඇරිය
සරුන්ගලයකි
ප්‍රේමය

එය සුලන් කපමින් -ඉගිලෙත
හද වරල් සලමින් - ඉපිලෙත

හද සිතුම් වවමින් ඉගිලුනද
එකලු කරමින් හද ගඟනත

චන්ඩ මාරුතයකට හසුව
මග හසර පැටලී සැගවෙද?
මහා වැස්සකට නතුව
තෙතබරිත් වී දියවෙද?
අවදානමද නිති දලුලත


Sunday, June 6, 2010

Tuesday, May 4, 2010

සොදුරු ගඟවතියනි........


සැලෙන සුලලිත ගලන මග වලකවිතැයි
පව්රු පදනම් බැද රූ රුසිරු වහන් කරතැයි
රළු සැඩ රළ මුගුරු පහරින් බැට දෙමින්
හද ඝන මැට්ට සෙමෙන් දියකර හරිමින්
වෙර බදිති - පලි ගසති ඟගඉවුරටම නිති
සොදුරු ගවතියො පේවී සැදී පැහැදී හිද

ඟගඉවුර දඩු වැටක් නොව සැබැවින්ම
පිරිමි ලොකය ඔබව වටකොට ඇටවුව
සොදුරු ගවතියනි
ඒ ඝන බාහිර රේඛාව
ඔබගේමය
මිහිමත මත ඔබසිතුවම
හැඩට තිරකොට අදින

සොදුරු ගවතියනි
නුදුරේම දිනක තෙපි
සියතින්ම දියකොට
සිදුරු කොටගෙන මේ සුමුදු කවචය
වැගිර වැතිරී ගලාගෙනගොස්
සමතලාකොටගෙන මිහිතලය
දිවිනසා ගනු ඇත කතරක් කරමින්ම මෙදියත

Tuesday, April 27, 2010

ඒකපාර්ශ්වික පෙම




















වෙළ අද්දර උස පොල් ගහ
තාල කුලයේ සිරිත් අත්හැර
හැරී නැමී වෙළ දෙසටම
ඇතිපදම් හිරු එලිය උරා ගෙන
ඉස්පාසුවට ඉඩකඩද හදාගෙන
හැදී වැඩෙයි අපුරුවට

මමත් ඔබ දෙසටම
හැරීගෙන නැමීගෙන
වැඩියමක් වැඩිදෙයක් නොව
ලැබිය යුතු දේ
ලැබිය යුතු තරමට
පමණක්ම පැතිමි

තාල කුලයේ කදක් වීමි මම අවසන
කමකට නැති අරටුවකට වගකියන
ඒක පාර්ශ්වික පෙමකින් වලමත්ව
නිකන් නිස්කාරනේ ඇබරී ඇදඋන

Friday, April 9, 2010

අපි අපිම වූ ඇත්තම ඇත්ත එදවස
















එතින් අපි වෙන් උනායයි - කීයු දින සිටම ඔබ
වෙන් උනාමත් නොවේ රැදීනොරැදී සිටියා ඔබ
හද මතක සිර කුටිය තුල වැද- ද්වන්ද සටනක යුද වැද
සෑම තැනකම- සෑම විටකම- සතුරෙකුම ලෙස උවද

සයෙන් පීඩිතවී ජීවිතේ මරු කතර මැද සටනට වැද
මහමෙරද හිසමතට ගෙන - ඉර හද සොයා ඇවිදින
ජීවිතේ මහපොලොව මත සිටිය ඔබ
හමු වී දකින මේ මොහොත තෙක්ම

ජීවිතේ නිල්ම නිල් අහසට - රලු මහපොලොව
හමුවන තැන් සැබෑවට නැතුවම නොවේ ඉදහිට

අප දෙදෙන
දෙදෙනෙකුම විය එදවස
එකෙකුමත් විය
එක මගක වෙන වෙනම යන

තුවාලයද අහිමි
හිගන්නෙක් උනා ඉන් පසු මම

Tuesday, April 6, 2010

ගස සහ මම




ලපටි දලුපත් මද නලකට උවද සැලුනද
චන්ඩ මාරුතයකදී උවද නොසෙල්වෙන
අරටු බැසි දෘඩ සෘජු කාය ඝන කදක් ඇත
සෑම මහ ගසටම

ලෝ දහමින් නිති සැලෙන -මැලවෙන
හද මෘදු ලපටි දළු අත්හැර -අහක්කර
දැඩි සෘජු පිරිමි ගතිගුනම උලුප්පන
ඝන හද අරටුවම පමනක් පතමි මම

එහෙත්
ගසක් යැයි කිව හැකිද? කාටවත් කටක් ඇර
මල් කොල නොමැති නිකම්ම නිකන් කදකට

Wednesday, March 24, 2010

සොදුරු පැත්ත, අදුරු පැත්ත


විදා මා හද අරාගෙන -සොරා ගෙන
සොයා පීරා සෑම අහුමුලු බලාගෙන
කුනු කෑලි එක දෙක එකතුකර පෙරාගෙන
මා එපා යයි අද පලා යන

සොදුරියේ නුභ පතන
නිකැලැල් සොදුරු පිවිතුරු
හෙට දවස තුල තනන
සුපසන් ඒ සිහින මාලිගය තුල

සුදු කිරිගරුඩ බිම සිදිලෙනු ඇති
පොකුරු මිනි පහන් දැල්වනු ඇති
නෙක වර්න තිරපට රග දෙනු ඇති
උස් අසුන් සිරියහන් ඉදිවනු ඇති



එහෙත් ඒ හා සමගම
කුනුවතුර නල අසූචි බටද
ඉපදි හැදී වැඩී පිරෙමින්ද
මැදුරු බිත්ති තුලින් මිරිකී රින්ගා ගොස්
පහුපෑවතෙහි නිහඩවම එකතුවන
පල්දෝරු වලකුත් තැනෙනු ඇති



Sunday, March 14, 2010

රමණීය රමණය....
























එක මගක එකලාව

ප්‍රති දිශා හබා යන
ඔබ ඔබම ලෙස
මම මමම ලෙස
නැවත
හති වැටි අභිමුඛ වන
වෘත්තයක ගමනක්ය
රමණය

කිසිවිටක කිසිදිනක
මධ්‍ය ලක්ශය නොදකින

සොදුර ඔබ මා පතන ඒ
දිව්‍යමය මධ්‍ය ලක්ශය
හතිලන සිහින මිරිගුවක් උවද
අප අදින මේ සසග වෘත්තයේ
විචලනය වන අරය ගුරුකොට
ඔබ මා තුලට

මා ඔබ තුලට
ඇද බැද වෙලන
හද රැහැන් ලියලන
රමණීය රැගුමක්ය
මේ රමණය







Saturday, March 6, 2010

සම්මතය....??????


මුත්තලා නත්තලා
සීයලා අත්තලාට
ඇන්දුව
සීයලා අත්තලා
අම්මට තාත්තට
ඇන්දුව
මව් පිය වරු නැවත
අනේ අපිටත් එයම
ඇන්දුව
ඉරී කිලිටිව දිරුව
ගොමස්කඩයකිය
මේ සම්මතය
ඉරා වීසි කර මේ රෙද්ද බැද්දට
කපා මසා ගනු හැකි නොවෙද?
අපි අපිටම
ඇගට ගැලපෙන - හිත්ට හරියන
නව ඇදුම් ඇගලුම්
මම කැමති මේ රෙද්දට- ඇය කැමති නෑ මේපාටට
ඇය කැමති මේ රෙද්දට- මම කැමති නෑ මේ පාටට
කපනවා - මහනවා - අදිනවා- බලනවා- ලිහනවා
නිමක් නැත, කොනක් නැත, නව ඇදුම නිමා නැත
නෙක වෛවාරන රෙදිපිලිද මේ රටේ බහුලයි
ආරිච්චි බොරිච්චි විලාසිතාද මෙලොව සුලබයි
උපදේස ඔවදන්ද මේ වැඩේ දැන් රටේ සුමටයි
මහන්නට මදින්නට අන්දවන්නට අය එමටයි
මේ නොයෙක විගඩම් මැද
මසන මේ නව ඇදුම හෙට
සලුවක් වෙතැයි?සීතාම්බර
සැක සාන්කාද හරි ඉහලයි



Tuesday, February 16, 2010















සම්බාහන ලියන් නොඇසූ පැනය

නුවර දොර මැදුරු තුල වැද
උයන් කෙලි රති කෙලි විද විද
ප්‍රකම්පිත රතිඉදුරු තත් සිදිබිදි
අහො තොප කුමර සිරුරත
මොලොක් මාන්ශය මත කැටි ගැසී
අධිකතර සැප නම් විශ ඕජස

අඩක් හිස් වූ කුස් තුල වැද
රස හීන අන්කුර පිටින් වැලලෙත
සල්ලාල සයන මත ගොදුරක්ව
සුනරුත්ව පෙම් පැතුම් ගිනිබත්ව
අහො මහද සොදුරු ජීවිත මීවිත
විශ විතක් වී දුක පිරී ඉතිරෙත

කලබා ඒ රුහිරු දුක් විත
පෙර පොගවාවිත් ඇගිලි තුඩගට
මිරික පිරිමෙද එන්නත් කර
දියකරමි සුව සදමි සනසමි
නසමින් විශෙන් විශ

නිවී සැනසෙනමුත් තොප සිරුරත
මේ විශ ගනුදෙනුව කෙලවර
නොදුන්නේ කිම? කාසිරුපියල් මිස
මහද දුක් කද නිවන - ප්‍රතිවිශ