Friday, January 7, 2011

හද වෙදකම


මේ මෙතන හරියටම හරි මැද
ඈ මුල් ඇදී සිට දමා ගිය තැන
ලේ ගලන රිදුම් දෙන තුවාලය
පෑය ඔහු
ලේ ගලන හදවතක් මා වෙත

සෝද සෝදා ඒ ලේ කද
පිරික්සූ කල හද විවරය
තුවාලයක් නොවේ එය
සදා රතු රුධිරය උනන
බදා වේදනාවම විහිදන

නොඉදුල් සොදුරු
ලොවකට
මග හසර පෙන්වන
දොරටුවකි එය
මෙතෙක් කල් නෑරුන

විදා අතු පත්
හද පුරා මුල් ඇදීගෙන
මෙතෙක් කල්
ඈ හරස් කර ගෙන සිට ඇත
සොදුරු දිවි මග සොරා ගෙන

Sunday, December 26, 2010

මගේ අහස

















අහස ලොකු විය - මම කුඩා විය

විසල් අහසට පෙම් බදින්නට පෙර
මා නොදත්තෙමි මෙහෙව් වගතුග

එක් කොනක් සරසන විට මහත් ලෙස
අනෙක් කොන - ජරපත්ව වියැකෙයි
සියල් සපිරිනු - පිරුනු දසුනක්
කිසිදිනක නොදිටිමි නිරන්තර

දෙකොන පෑගෙන පොල්පිත්ත ලෙස
පදුරුල
, මහා මල සමයමක් ඉහ මත

මුහුද ගොඩබිම ආනුපානෙට
දියත සුවිසල් බවට පෑහෙන
උඩින් පොරව
යි විසල් නුබ කුස

එවන් අහසක් මොටද
කුඩා මා හට පැලදුමට

මගේ උස් මිටි කමට සැසදෙන
එයින් කොටහක් කඩා ඉහලමි

Wednesday, December 22, 2010

දිවි මාලිමාවෙහි වත


මගේ වමතට ඉදිරියෙන්
තල් අරඹෙහි රුවා ඇත - උතුරු කොන
මගේ සුරතට ඉදිරියෙන්
සිඳු වාටියෙන් මායිම්ව ඇත - දකුනු දිග
කොහේ කොතැනක කොහෙට හැරුනත්
හැමවිටම පෙරඹරට මුහුන දී උදාරම් ලෙස - මම
ලපටි කල මා විසූ කුඩා ලොව
මාලිමාවක් විය මටම අවනත

පැටි විය ගෙවී - දැලි රැවුල පැලවෙන කල
උගත්තෙමි මම බොහෝ විද්‍යා කලා ශිල්ප හා භූගෝලය
උගතෙකුට රිසි වන දැනුම රිසි ලෙස උරා ගත්තා මම

බාල කල මා වැඩූ ලදරු මාලිමාව සොපහසින් වීසි කර
පැලද ගත්තා මහිස විදත් මාලිමාවක් පොතේ හැටියට

දනිමි මම දැන්
උතුරු කොන දන්නා දුරක බොහෝ ඈතක බව
දකුනු කොන හිතූ තරමටම අතේ දුර නොවනබව
අපි හැරෙන පැත්තට අපිත් සමගම කරකැවෙන
අපිට අවසග මානයක් නොවේ මේ දිශාවන් සැම

පැහැදිලිය නිවැරදිය දැන් මගේ මාලිමාවෙහි මානයන් සැම
බාල වියටත් වඩා කුඩා වී නොවෙද? එහෙත් දැන් - මම

චායාරූපය-http://www.richardlyle.org/wp-content/uploads/2010/11/vitruvian-man.jpg

Sunday, November 28, 2010

රූල් නැති පොත්




මුතු දිමුතු අකුරෙන්
සදොස් වැකියෙන්
වියත් බසකින්
මුල -මැද- අග
සිදුවීම් සීරුවට අමුනා
පබැදුවෙමු අපි එදවස
ජීවිතේ වියමන

ඒ වියූ වියමන අත්හැර
ඔබ අන් වියමනක අද

මුතු අකුරු බොද වී
දිවි රටා දිය වී දැන්
ජීවිතය
හිස්ම හිස් පිටුවකි

පැතුම් සෙදී උරා ගත්
හැගුම් වියලී නිදාගත්
මේ හිස්ම හිස් පිටු
කිලිටි කඩදහි සේ
කසල බදුනට
වීසි නොකරමි

රූල් රටා හැම සිදී බිදී වියැකුන
සියල් රීති හැම ගොලුවී මැලවුන
මේ නොහිස් හිස් පිටු
නොපීදුනු සියපත් රටා පූදින
ජීවිතේ සැබෑ වියමන ලියලන
සුනිල නිල් දිය උනන උල්පතයි

ඉතින්, මුදල් දීවත් ගතහැකිද කොහෙන්වත්
දිවි දිගහැරුමට මෙවන් - රූල් නැති පොත්

චායාරූපය -www.jupiterimages.com/
ImageroyaltyFree/
77999499

Tuesday, November 16, 2010

ලෙච්චමී තේ ගහකටවත් නොකී කව


කොලයෙන් දළුවෙන් ගොතලා
අරිම්බුවෙන් රටා දැමූ
තද නීල කොල සාරියකි ලොකු
මුලුවසන් තේ යාය පිටපොත්ත

පන්දලම් තිඹිරිගේ ඇතැරවිත්
කප්පාදු වී දහ දොලොස්වර
අගුටු වී වාමනව
දළු නිල්ල යට සැගව
සදා දුක් වීදී අතු කය


නෙත්තියේ පදුරකින් පදුරකට
දළු නෙලමින් යනෙනා අතර
විදා අතු කෝටු යන මග හරස් කර
මොට්ට අතු තුඩින් දෙකකුලට ඇන
නේක හිරිහැර කරයි අතු කඳ

අනේ ආඩවනේ....!
ඇයි අරියාදු අපිටම

කනේ කඩුක්කන් බන්ගලි වලලු දැම්මට
පච්චවඩම් මල් සාරි ඇන්දාට පැලැන්දට

ඔහේ නිදහසේ අතු බෙදී උස යනු නොහැකි
හිතේ හැටියටම මල් මවා ඵල ලනු නොහැකි
කදු පාවුලක ලැයින් ගෙදරක වකුටු වී බුදියන
අපිත් නුඹලත්
එකම රෝලක ඇඹරෙන දළු නොවෙද



චායාරූපය-http://www.superstock.com

Tuesday, November 2, 2010

වහා හකුලා ගනු


වහා හකුලා ගනු
වහා හකුලා ගනු
චන්ඩ හිරු රජුනි
මේ දැන්දැන්
රුදු සැඩ රළු කිරන
අප දවන -මලවන

අප ගත රුහිරු තෙත
තලා මිරිකා දාහය ලෙස
වස්සවා නාස්තිකර
පැනි බීම ඔඩම් තුල බහා
කොහෙවත් නැති සමාගම්
පෝසත් කරයි උඹ

නුඹගේ කිරන රැස් කදම්භ පහර වැද
දහ අතේ ණයවී තැනූ සුපසන් මාලිග
දුම් ගෙවල් මෙනි අනේ දැන්
පනපිටින් කරකුට්ටන් වෙන

තලන පාගන සුරාකන අපිට දත නියවන
රුපු සෙන් මාරසේනා අද බොහෝ වෙත
උනුන් එල ලු දැලක පැටලී එදිරි වී නුඹද
එකපෙලට හිටගෙන නොවෙද හරිහරියට

එහෙව් රූකඩ වේශ සුන්නත්දූලි කර
වහා හකුලා ගනු - වහා හකුලා ගනු
ඔය චන්ඩ කිරන රැස් දහර නැවත

Thursday, October 28, 2010

රුදුරු වැහිබිදු



















නා කපන වැස්සට
කිලි කුනු සෝදගෙන
දිදුලතත්
තුරුලිය පෙල
මුඩු කඨොර රලු ගති මගහැර
තෙත්බරිත වී පෙගී මුදු ලෙස
හිනැහුනත්
මහ පොලොව
ඒ වැහි බිදු
වැටුනේම නම්
මහද පතුලත
මතක මිහිදන් කල
සොහොන්බිම මතටමය

ඒ රුදුරු වැහිබිදු
ඝන පිටකබොල දියකර සොදාපාලු කර
හැකිතරම රුවැති වේශයෙන් මිහිදන් කල
ප්‍රාන සම සේ සුරැකි මතක පිලිරූ පෙල
සැකිලි කුනුමස් පිරි කුනපයන් සේ සොබර
මතුකර උල්ලුපා ඇත අද