Wednesday, December 22, 2010

දිවි මාලිමාවෙහි වත


මගේ වමතට ඉදිරියෙන්
තල් අරඹෙහි රුවා ඇත - උතුරු කොන
මගේ සුරතට ඉදිරියෙන්
සිඳු වාටියෙන් මායිම්ව ඇත - දකුනු දිග
කොහේ කොතැනක කොහෙට හැරුනත්
හැමවිටම පෙරඹරට මුහුන දී උදාරම් ලෙස - මම
ලපටි කල මා විසූ කුඩා ලොව
මාලිමාවක් විය මටම අවනත

පැටි විය ගෙවී - දැලි රැවුල පැලවෙන කල
උගත්තෙමි මම බොහෝ විද්‍යා කලා ශිල්ප හා භූගෝලය
උගතෙකුට රිසි වන දැනුම රිසි ලෙස උරා ගත්තා මම

බාල කල මා වැඩූ ලදරු මාලිමාව සොපහසින් වීසි කර
පැලද ගත්තා මහිස විදත් මාලිමාවක් පොතේ හැටියට

දනිමි මම දැන්
උතුරු කොන දන්නා දුරක බොහෝ ඈතක බව
දකුනු කොන හිතූ තරමටම අතේ දුර නොවනබව
අපි හැරෙන පැත්තට අපිත් සමගම කරකැවෙන
අපිට අවසග මානයක් නොවේ මේ දිශාවන් සැම

පැහැදිලිය නිවැරදිය දැන් මගේ මාලිමාවෙහි මානයන් සැම
බාල වියටත් වඩා කුඩා වී නොවෙද? එහෙත් දැන් - මම

චායාරූපය-http://www.richardlyle.org/wp-content/uploads/2010/11/vitruvian-man.jpg

No comments:

Post a Comment